ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේදී පැහැර ගැනුණු දිනිඳු යෂේන් දරුවා ඊයේ රාත‍්‍රී ඇඹෝගම ප‍්‍රදේශයේදී සොයා ගැනුණේ දුරකථන සංවාද ඔස්සේ ලබාගත් දත්ත අනුව බව පොලිසිය පවසනවා.
පොලිස් ආරංචි පැවසුවේ පැහැරගැනීම සිදුකළ පුද්ගලයින් දරුවාගේ මව්පියන්ගෙන් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ඇති බවයි. පසුව එම කප්පම රුපියල් ලක්ෂ 35ක් දක්වා අඩු කිරීමට ඔවුන් එකඟ වී තිබෙනවා.
ඊට අදාළව ඇති වූ දුරකථන සංවාදවලදී චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සැකකරුවන් සිටි ස්ථානය හඳුනා ගැනුණු බවයි පොලිස් ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර සැකකරුවන් 4 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැහැරගැනීම සඳහා ඔවුන් විසින් යොදාගත් බව කියන යතුරුපැදියක් ද සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. දිනිඳු යෂේන් දරුවා ඔහුගේ මව්පියන් සමග කොළඹට රැගෙන විත් තිබෙනවා.
එම දරුවාගේ නැන්දණියක් පැවසුවේ ගත වූ දින කිහිපයේදී දරුවා රඳවාගෙන සිට ඇත්තේ ගල් ගුහාවක බවයි. කොළඹට රැගෙන ඒමට පෙර දරුවා කෙටි කාලයක් සඳහා නිවසට රැගෙන ආ බවද පසුව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කෙරුණු බවද ඇය කියා සිටියා.
-
