ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණ (HD) රූපවාහිනී නාලිකාව “තිනෙත TV” නමින් ළඟදීම ඇරඹීමට නියමිතය.
ශ්‍රී ලංකාව ළඟා කර ගනිමින් සිටින නව ආර්ථික හා සමාජයීය ප්‍රවණතාවන් පිළිබඳව ලොව දැනුම්වත් කිරීමේ අරමුණින් “තිනෙත TV” නමින් චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාවක් ඇරඹීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතිනබව එහි ප්‍රධානි රොහාන් වැලිවිට මහතා පැවසිය.
ජාතික මට්ටමේ රූපවාහිනී නාලිකාවක් මගින් විකාශය කෙරෙන වැඩසටහන් සියල්ලම පාහේ මෙම නාලිකාව තුළින්ද ප්‍රේක්ෂකයින් වෙත ලබා දීමට අපේක්ෂිතය.
ඒ අනුව පුවත් හා සංවර්ධන තොරතුරු ඇතුළත් කාලීන වැඩසටහන්, ටෙලිනාට්‍ය හා සංගීතමය වැඩසටහන්, ක්‍රීඩා හා සජීව වැඩසටහන් ආදී වැඩසටහන් පෙළගැස්මක් මේ මගින් ලෝකයට මුදා හැරේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම සියලුම වැඩසටහන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික නව නිර්මාණ වීමයි. එමෙන්ම ලංකාවද අත්සන් තබා ඇති ලෝක රූපවාහිනී ප්‍රඥප්තීන්ට මුළුමනින්ම අනුකූල වෙමින් මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා වන ආකාරයෙන් මෙම වැඩසටහන් නිර්මාණය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.
මෙම නාලිකාව චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් විකාශය කෙරෙන ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව වේ.
මෙම නාලිකාව ආසියාව, යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකානු රටවල් හා ඕස්ට්‍රෙලියාවද ආවරණය කරමින් විකාශය කිරීමට අපේක්ෂිතය.
ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයින්ට ස්වදේශීය තොරතුරු ලබා දීමේ මෙන්ම උසස් රසවින්දනයක් ළඟා කර දීමේ අරමුණින් විකාශය කෙරෙන මෙම නාලිකාව ඔස්සේ සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහන් විකාශය කිරීමට අපේක්ෂිතය.
මේ සම්බන්ධ වැඩි විස්තර Facebook.com/thinethatv ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙන් ලබා ගත හැකි වේ.
