ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ඊයේ (02) දහවල් එංගලන්ත සංචාරයට එක්වූයේ ඕවර විස්ස-20 ලෝක කුසලානයේ උණුසුම මැකීයාමටත් පෙර වීම විශේෂත්වයකි.
මෙවර කණ්ඩායමේ වැදගත්ම වෙනස වූයේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි ආරම්භක පිතිකරුවකු වූ මාවන් අතපත්තු එක්වීමය. අතපත්තු මෙම එංගලන්ත සංචාරය තමාගේ අලුත් භූමිකාව හොඳ අභියෝගයක් වුව ද එම අභියෝගයට මුහුණ දීමට සූදානම් බව පවසයි.
“අපේ කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය ඉදිරියටත් එලෙසම තබාගෙන මගේ පුහුණුකාර මණ්ඩලයේ සහයෝගය වගේම සියලු කණ්ඩායම් සාමාජිකයන්ගේ සහයෝගය තුළ පවත්වාගෙන යාමයි එකම අපේක්ෂාව.” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමුගැනීමෙන් පසු පිතිකරණ විශේෂඥ පුහුණුකරු වූ මාවන් ඉන් පසුව සහාය පුහුණුකරු ධුරයට ද මෙවර ප්‍රධාන පුහුණුකරු ධුරයට ද පත්වීම විශේෂත්වයකි.
“මම ජාතික කණ්ඩායමක් පුහුණු කිරීම සඳහා පැමිණ තවම වසර තුනක් වැනි කාලයක් තමයි ගත වී තිබෙන්නේ. මම ප්‍රධාන පුහුණුකරු ධුරයට ඉල්ලුම් කළේ මට තිබුණු විශ්වාසය නිසා.” කෙසේ වුණත් තරමක් ප්‍රමාද වී හෝ මට මෙම ප්‍රධාන පුහුණුකරු ධුරය ලැබිම ගැන සතුටු වන බව පැවසූ මාවන් තමා ගැන විශ්වාසය තැබිම පිළිබඳ වඩාත් සතුටු වන බව අවධාරණය කළේය.
මාවන් විශේෂයෙන් සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයකු වී පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද ලබා අද වන විට ප්‍රධාන පුහුණුකරු ධුරයට ශ්‍රී ලංකා පිලේම සේවයට පැමිණීම තමාගේ ජීවිතයේ වඩාත් වටිනා සංධිස්ථානයක් බවයි.
ඡායාරූපය : මැන්කන් ගුණසේකර
ධම්මික රත්නවීර
