රජයේ සහ පෞද්ගලික ඉඩම්වල මුල් අයිතිය වෙනස් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ නීතිඥයන්ගෙන් සමන්විත කණ්‌ඩායමක් ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලවල සේවය කරන දූෂිත නිලධාරීන් සමග එක්‌ව රට පුරා ආරම්භ කර ඇතැයි ඉඩම් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු පැවැසීය.
ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලවල ඇති ඉඩම්වල මුල් අයිතිය තහවුරු කෙරෙන නීත්‍යානුකූල ලිපි ලේඛන ඉතා සූක්‍ෂම ලෙස වෙනස් කර හෝ සොයා ගෙන ඒ වෙනුවට ව්‍යාජ ලිපි ලේඛන සකස්‌කොට ඒවා ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලවල තැන්පත් කොට මෙම ඉඩම් කොල්ලය සිදුකරන බව මේ වනවිට හෙළිදරව් කරගෙන ඇත.
මොවුන්ගේ අරමුණ රටේ ප්‍රධාන නගර තුළ පිහිටි වාණිජ අතින් ඉහළ වටිනාකමක් ඇති රජයේ සහ පෞද්ගලික ඉඩම්වල මුල් අයිතිය වෙනස්‌කර එම ඉඩම් තමන් සතුකර ගැනීමය.
රට පුරා පිහිටි සියලුම ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පාලනය විමනිසා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට මෙම මහා පරිමාණ ජාවාරම නතර කිරීම සඳහා කිසිම පියවරක් ගැනීමට නොහැකිවී තිබේ.
මේ වනවිටත් රටපුරා පිහිටි ඉඩම් කට්‌ටි ගණනාවක් මෙම ජාවාරම්කරුවන් විසින් අත්පත්කරගෙන විවිධ පුද්ගලයන්ට විකුණා ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.
