කටුනායක දහඅටේ කණුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට පෙරේදා (30 වැනිදා) මධ්‍යම රාත්‍රියේ කඩාවැදුණු සන්නද්ධ කොල්ල කණ්‌ඩායමක් එහි කළමනාකරුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර රුපියල් හතලිස් පන්ලක්‍ෂයක් වටිනා දේශීය සහ විදේශීය මුදල් කොල්ලකා පලාගොස් ඇත.
මුහුණු ආවරණය වන හිස්‌වැසුම් පැළඳගත් කොල්ලකරුවන් සිවුදෙනා පෞද්ගලික බැංකුවකට කඩා වැදී ඇත්තේ පෙරේදා මධ්‍යම රාත්‍රී 12.00 ට පමණය.
ඒ වන විට බැංකුවේ රාජකාරි කරමින් සිට ඇත්තේ එහි ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනාත් රාත්‍රී රාජකාරි භාර කළමනාකරු සහ තවත් නිලධාරියකුත් පමණි.
පැය 24 පුරාම විවෘතව තබන මෙම පෞද්ගලික බැංකුවට නිසි ආරක්‍ෂාවක් ලබාදී නොතිබූ බව පොලිසිය පවසයි.
බැංකුවට කඩා වැදුණු කොල්ලකරුවන් එහි ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනාට පහරදී ඔවුන් බැංකුව තුළට ඇදගෙන ගොස් මුදල් කොල්ලකෑමට සූදානම්වී ඇත.
ඒ අවස්‌ථාවේ බැංකු කළමනාකරු හදිසි අවස්‌ථාවලදී පාවිච්චි කරන අනතුරු සංඥ ස්‌වීචය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර තිබේ. එය දුටු කොල්ලකරුවකු කළමනාකරුට පිහි ප්‍රහාරයක් එල්ලකර ඇත.
පසුව කොල්ලකරුවන් බැංකුවේ මුදල් අයකැමි සතුව තිබූ දේශීය මුදල් සහ සේප්පුවල තිබූ විදේශ මුදල් කොල්ලකා පලාගොස් තිබේ.
පිහි ප්‍රහාරයකට ලක්‌ව බරපතල තුවාල ලැබූ බැංකු කළමනාකරු ඒ මොහොතේම රෝහල් ගත කිරීමට බැංකු නිලධාරීන් කටයුතු කර ඇත.
සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ කටුනායක පොලිසිය එහි ගොස් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළද කොල්ලකරුවන් පිළිබඳ හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි විය.
මෙම කොල්ලකරුවන් මිලිමීටර් 9 වර්ගයේ පිස්‌තෝල දෙකකින් සහ තියුණු ආයුධ දෙකකින් සන්නද්ධව සිටි බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
කොල්ලකරුවන් බැංකුවට කඩාවැදී මුදල් කොල්ලකා එහි කළමනාකරුටද පිහියෙන් ඇන පලායන ආකාරය ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබී ඇත.
එහෙත් කොල්ලකරුවන් සිවුදෙනාම මුහුණු ආවරණය වන හිස් වැසුම් පැළඳ සිටි නිසා හඳුනා ගැනීම අපහසු බව පොලිසිය පවසයි.
මෙම කොල්ලකෑම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක් යොදවා ඇත.
බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ, සහකාර පොලිස් අධිකාරි ජගත් වීරකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත පරික්‍ෂණ පැවැත්වේ.
මේ අතර මෙහිදී කොල්ලකරුවන් පැහැරගත් රුපියල් දහසේ නෝට්‌ටුවල අංකයන් පිළිබඳව සැලකිලිමත්ව සිටින ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.
රුපියල් දහසේ ඨ 239037451 හා ඨ 239037500 අංක සහිත නෝට්‌ටුවක් ලැබුණොත් වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිසිය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.
