දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල, කජුවත්ත ප්‍රදේශයේ ඉතා අසරණව ජීවත්වන
විශ්‍රාමික ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන
ප්‍රනාන්දු මහත්මියට ජනසෙවණ නිවාස වැඩසටහන යටතේ නව නිවසක් ඉදිකරදීමට
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ
මහතා ඉදිරිපත්වෙයි.නව නිවස ඉතා කඩිනමින් ඉදිකර රංජනී ගුණවර්ධන වෛද්‍යතුමියට බාරදෙන ලෙස අමාත්‍යවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. නිවස ඉදිකරදීම සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ “ සෙවණ ” අරමුදල මඟිනි.
මෙම නව නිවස ඉදිකරදීම සඳහා මහවැලි අධිකාරියට අයත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කජුවත්ත, රුහුණුගම, මහවැලි ගම්මානයෙන් ඉඩමක් ලබාදීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත.
81 හැවිරිදි රංජනී ගුණවර්ධන විශ්‍රාමික වෛද්‍යවරිය ස්ථාන මාරුවීමක් ලබාගෙන ගිරාදුරු කෝට්ටේ ප්‍රදේශයට පැමිණි ඇත්තේ 70 දශකයේ අගභාගයේදීය. මහවැලි ගම්මානවල ජීවත්වන අසරණ මිනිසුන් සුවපත් කිරීමට පැමිණි ගුණවර්ධන මහත්මිය විශ්‍රාම ගිය පසුවද එහිම ජීවත්වීමට තීරණය කළාය.
මේ වන විට ඇය ඉතා අසරණව දෙහිඅත්තකණ්ඩිය, කජුවත්ත, මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේ පැරණි ගබඩාවක කිසිවෙක් නොමැතිව ජීවත් වේ. විශේෂඥ වෛද්‍ය රංජනී ගුණවර්ධන මහත්මියගේ තනි නොතනියට සිටින්නේ අසල නිවසක ජීවත්වන නන්දාවතී මහත්මිය පමණි.