ආසියානු
කලාපයේ විශා ලම හෙරොයින් තොගය සහිත බහාලුමට ප්‍රමාද ගාස්තු සහ වරාය ගාස්තු
සඳහා සහනයක් දෙන ලෙස අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකු රේගුවෙන් ඉල්ලා
සිටීමේ සිද්ධිය පිළිබඳව ගෙන ඇති පියවර කුමක්දැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික
සන්ධාන මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02)
ප්‍රශ්න කළේය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා
මෙසේද පැවැසීය. මෙවැනි වටිනාකමක් සහිත දැවැන්ත හෙරොයින් තොගයක් ආනයනය කර
ඇත්තේ, කුඩා ජාවාරම්කරුවන් නෙවෙයි. බොහෝ කූට ජාවාරම්වලට මෙන්ම ඔවුනටද
නිසැක ලෙසම බලවත් දේශපාලන රැකවරණ තිබිය හැකි බවට මහජනතාව තුළ බලවත් සැකයක්
පවතිනවා. විශේෂයෙන් මෙම සිදුවීමේදී පසුව හෙළිදරව් වූ සුවිශේෂී කරුණක් මෙම
සැකය තීව්‍ර කරනු ලබනවා. මෙම හෙරොයින් තොගය සහිත බහාලුමට අදාළ ප්‍රමාද
ගාස්තු හා වරාය ගාස්තු සඳහා සහන ලබාදෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍ය
කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ එහි සේවයේ නියුතු පුද්ගලයකු අගෝස්තු 23 වැනි
දින ලිපියක් එවා තිබූ බව පසුගිය නොවැම්බර් 10 වැනි දින සන්ඩේ ටයිම්ස්
පුවත්පත වාර්තා කළා.
අගමැතිවරයා වෙනුවෙන් මෙම ලිපිය ඉදිරිපත් කරන බව සඳහන්
කරමින් අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් එවනු ලැබ ඇති මෙම
ලිපියේ සඳහන් වන්නේ, මෙම සමාගමේ පළමු ව්‍යාපාරික කටයුත්ත වන බැවින් ඔවුනට
වැඩි ගාස්තු ගෙවිය නොහැකි බවත් ප්‍රමාද ගාස්තුවලට සහ වරාය ගාස්තුවලට සහන
ලබාදෙන්නේ නම් ස්තූතිවන්ත වන බවයි. රටේ දෙවැනි පුරවැසියා ලෙස සලකනු ලබන
අග්‍රාමාත්‍යවරයා මෙවැනි සිදුවීමක් හා සම්බන්ධ කරුණකට ඈඳී තිබිම මෙම කරුණ
හා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පරීක්ෂණවලදී රටට අහිතකර වාතාවරණයක් ඇති
වීමේ අවදානමක්ද පවතිනවා. මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් මෙම සභාව හමුවේ තබනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
01. අදාළ බහාලුම තුළ තිබි අත්අඩංගුවට ගනු ලැබ ඇති ද්‍රව්‍ය හා ඒවායේ
ප්‍රමාණයන් කවරේද? 02. එම බහාලුමට අදාළව සහනයන් ලබාගැනීම සඳහා අදාළ ආයතන
වෙත කිසිවෙක් විසින් ලිපියක් ඉදිරිපත් කරනු ලැබ තිබේද? 03. එබඳු ලිපියක්
නිකුත් කිරීම සඳහා ඔහුට උපදෙස් ලබාදී ඇත්තේ කවුද? 04. අදාළ මත්ද්‍රව්‍ය
තොගය පිළිබඳ පරීක්ෂණවලදී එම ලිපිය
හා එය යවනු ලැබූ තැනැත්තා පිළිබඳව ගනු ලැබ ඇති පියවර කවරේද? 05. මේ පිළිබඳ
ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබාගෙන ඇද්ද? 06. සමස්ත
සිදුවීම පිළිබඳ පරීක්ෂණ කටයුතුවල වත්මන් ප්‍රගතිය කවරේද?