
දැන් අපට ඉතිරිවෙලා තිබෙන්නේ මේ ඇඳුම විතරයි. නිවසේ තිබූ කිසිවක් නෑ. සියල්ල ගිනි තියලා විනාශ කරලා. වගකිවයුතු අය මේ දිහා බලාගෙන හිටිය මිසක් මේ විපත් නතර කරන්න උත්සාහ ගත්තේ නෑ. ඒකයි මේ සේරම දුරදිග ගියේ යැයි කඹුරුපිටිය උල්ලල මාස්මුල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු සහ ඔහුගේ භාර්යාව පොලුවලින් පහරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ‘කැටයම් චින්තක’ හෙවත් චින්තක වසන්ත කුමාර (36) නමැත්තාගේ අවසන් කටයුතු මාතර පොදු සුසාන භූමියේදී ඊයේ (04 දා) දහවල් සිදු කෙරුණු අවස්ථාවේ ඔහුගේ මව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියාය.
මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමන්ත හේමාල් ප්‍රශාන්ත මහතාගේ මැදිහත්වීම මත සහ මවගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් මාතර මහ නගර සභාවට අදාළ මුදල් ගෙවා සිරුර මිහිදන් කිරීමට කටයුතු සම්පාදනය කර තිබිණි.එම අවස්ථාවට චින්තක වසන්ත කුමාර නමැත්තාගේ මව, බාප්පා, බිරිඳ, සොහොයුරිය ඇතුළු උල්ලල, මාස්මුල්ල ප්‍රදේශයේ කිහිප දෙනෙක් සහභාගිව සිටියහ. නැගනිය හඬමින් ප්‍රකාශ කළේ, අපේ ගෙට ගිනි තියල. අපට ඉතිරි වුණේ මේ ඇඳිවත විතරයි. ඒ ගේ හැදුවෙ මම බැංකුවලින් ණය අරගෙන. අයියගෙ සල්ලි කීයක්වත් ඊට යොදවල නෑ. අයිය වරදක් කළානම් දැන් ඊට වන්දි ගෙවල ඉවරයි. අපේ ගෙවල් ගිනි තිබ්බේ ඇයි ? මේ ගැන කියන්න අහන්න කවුරුවත් අපට නෑ. මාධ්‍යවලින් සමහර ඒව මේ කරුණු විකෘති කළා. ඒ නිසා තමයි ජනතාවගේ කෝපය ඇවිස්සුනේ. එහි ප්‍රතිඵල වෙන්න ඇති මේ විනාශය වුණේ. ඊයෙ උදෙත් රතිඤ්ඤා පත්තු කරන ගමන් කිව්ව තොපේ ගේත් ගිනි තියනව කියලා. මම ඒත් හිතුවෙ නෑ එහෙම කරාවි කියලා.’ ඇය ඉකි ගසමින් දිගින් දිගටම කියාගෙන ගියාය.
චින්තකගේ මව හේවාපැන්නගේ මාලනී (64)
දැන් අපට ඉතිරි වෙලා තිබෙන්නේ මේ ඇඳුම විතරයි. නිවසේ තිබූ කිසිවක් නෑ. සියල්ල ගිනි තියල විනාශ කරල. වගකිව යුතු අය මේව දිහා බලාගෙන හිටිය මිසක් මේ විපත් නතර කරන්න උත්සාහ ගත්තේ නෑ. ඒකයි මේ සේරම දුර දිග ගියේ.සිරුර මිහිදන් කිරීමෙන් පසුව ඉකි ගසන මවගෙන් මාතර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රශාන්ත මහතා ඇසුවේ දැන් කොහාටද යන්නෙ යනුවෙනි. එහිදී පිළිතුරු දුන් මව,
‘මහත්තයෝ අපට යන්න තැනක් නෑ. උරුම කළේ මහ පාර විතරයි. යන්න තැනක්, ඉන්න තැනක්, කන්න දෙයක් මේ කිසිවක් නෑ. අප ඒත් කොහේ හරි යනව.’
මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා :
මගේ බලප්‍රදේශයේ ඕනෑම පොලිස් ස්ථානයකට මම කියන්නම් කිසිම කරදරයක් කරන්න එපා කියලා. උදව්වක් අවශ්‍ය ඕනම විටක කතා කරන්න. කඹුරුපිටිය පොලිසියටත් උපදෙස් දීල තිබෙන්නෙ තවත් කරදර කරන්න එපා කියල. ඒ කොහොම වුණත් තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු යොදාගන්න යනුවෙන් කීය.
සිරුර මිහිදන් කිරීමට නගරසභා සේවකයින් වළ සකස් කිරීමේ අවස්ථාවේදී රෝහල් භූමියේ රැඳී සිටි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා චින්තකගේ මවගෙන් විමසීමක් කළේ මේ සිද්ධියට ආසන්නම හේතුව කුමක්ද යන්නයි. ඊට පිළිතුරු දුන් මව,
‘පසුගිය කාලයේ කොයිම කොයි හොරකමක්, මැරකමක්, කොල්ලකෑමක්, කුඩු සම්බන්ධ දෙයක් වුණත් සැකකරු වුණේ අපේ පුතා. මම හොඳින්ම දන්නව ඒ එකකටවත් වරදකරු නොවෙයි. ඒත් සිදු වුණේ වරින් වර අල්ලගෙන යනව. කූඩු කරනව, දඬුවම් කරනව, ආපසු එවනව, මම වරක් පුතාට කිව්ව පුතේ ඔය වැඩේ කරන්න බෑ උඹ කියපන් පොලිසියට මම වෙඩිතියල මරල දාන්න මේ කරදරේට පත් කරන්නෙ නැතිව කියල. පුතා උසස් පොලිස් නිලධාරියකුට එහෙම කිව්ව. මේ තත්ත්වය හමුවේ මම නම් දන්නෙ නෑ කුමක් මීට හේතු වුණාද කියලා.
කඹුරුපිටිය පොලිස් ස්ථානයේ උ. පො. ප. ජයවර්ධන, පොලිස් කොස්තාපල් (55953) සුසන්ත යන මහත්වරු සුසානභූමියේ රැඳී සිට වළ සකස් කිරීමට උපදෙස් දෙමින් ක්‍රියා කළහ.මේ අතර බියෙන් ඇළලී ගිය කඹුරුපිටිය මාස්මුල්ල ගම්මානය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක හෙවත් චමින්ද වසන්ත හේවා පතිරණගේ නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වී මිය යෑමෙන් පසුව ප්‍රදේශය කමෛන් කමෛන් සන්සුන් තත්ත්වයට පත්වෙමින් තිබේ.
ප්‍රදේශයේ ආරක්ෂාවට කඹුරුපිටිය පොලිසිය විසින් මාස්මුල්ල ගම්මානයේ පොලිස් මුරපොළක්ද පිහිටුවා ඇත. එහි පොලිස් නිලධාරින් දෙදෙනකු යොදවා තිබුණි.ඔහුගේ මරණයෙන් පසුව මාස්මුල්ල හා අවට ගම්වාසීන් රතිඤ්ඤා පත්තු කරමින් කිරිබත් හදමින් සතුටට පත්වී ප්‍රීතිය ප්‍රකාශ කරනු දක්නට ලැබුණි.
ඊයේ (04 දා) උදේ එම ප්‍රදේශයේ අප කළ සංචාරයේදී දක්නට ලැබුනේ සාමකාමී වාතාවරණයකි. කැටයම් චින්තකගේ මවගේ නිවස ඉදිරිපිට කුරුඳු ගහක කිරිබත් පාර්සලයක් එල්ලා තිබෙන අයුරු දක්නට ලැබුණි.