දින කිහිපයකට පෙර පාකිස්තානයේ දී අල්ලලා
පාකිස්තාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආරක්ෂක වැටලීමක ප්‍රතිඵලයක්
කුඩු කන්ටේනරය අත්අඩංගුවට ගැනීමෙන් සුලමුල හෙළිවෙයි
මෙරට ඉතිහාසයේ වැඩිම වටිනාකමකින් යුත් මත් කුඩු කන්ටේනරයක්
පාකිස්තානයේ සිට මෙරටට එවූ මහා මත්කුඩු ජාවාරම් ජාලයේ ප්‍රධානියා වූ
පාකිස්තානු ජාතික සදර්න් ඛාන් නමැත්තා එරට මත් ද්‍රව්‍ය නාශක අංශය මඟින් මේ
වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තව සතියක් තුළ ශ්‍රී ලංකාවට ගෙනැවිත් මෙරට
අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට
මත්කුඩු බෙදාහරින ලද මේ මහා ජාවාරම්කරුවා එසේ ශ්‍රී ලංකාවට ගෙනඒමෙන් පසුව
ඔහුට විරුද්ධව මෙරට නීතිය අනුව කටයුතු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය
ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය.සැකකාර ජාවාරම්කරු මෙරටට ගෙන ඒමට පෙර ඔහු අත්අඩංගුවට ගත් පාකිස්තාන් මත් ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් ඊට අදාළ මූලික පරීක්ෂණ කටයුතු සඳහා මේ සතියේ මෙරටට පැමිණීමට නියමිතය.
මීට මාසයකට පමණ පෙර මෙම ජාවාරම්කරු මෙරටට එවූ කිලෝ 261 කින් සමන්විත කුඩු කන්ටේනරය රේගු නිලධාරින් විසින් සොයාගෙන එම ජාවාරමට සම්බන්ධ පාකිස්තාන් ජාතිකයකු සහ මෙරට ජාවාරම්කරුවන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිණි.
මොවුන් දැනට රිමාන්ඩ් භාරයේ සිටිති. එදින අත්අඩංගුවට පත්වූ පාකිස්තාන් ජාතිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී කාලයක් තිස්සේ පාකිස්තානය සහ මෙරට අතර මත්කුඩු ජාවාරමේ සුලමුල සමඟ එම ජාවාරම් ජාලයේ තොරතුරු රැසක් අනාවරණය විය.
එම තොරතුරු පාකිස්තාන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයට මෙරට පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය මඟින් ලබා දී මෙම ජාවාරමේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ සහාය ඉල්ලා තිබුණි. ඒ අනුව පාකිස්තාන් මත්ද්‍රව්‍ය නාශක අංශය සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස එම ජාවාරම් ජාලයේ ප්‍රධානියා වූ සර්දන්ඛාන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවීම මෙරට පොලිසිය මෙන්ම පාකිස්තාන් පොලිසියද ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් යැයි විශ්වාස කරයි. ඉතා සූක්ෂ්ම ආකාරයකින් මෙරට තුළ සිදුවූ මත්කුඩු ජාවාරම මෙහෙයවූ මොහු සමඟ ඊට සහාය වූ තවත් පිරිසක් පොලිසියට කොටුකර ගැනීමටද පරීක්ෂණ සිදුවෙයි.
