එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැල්වැටිතුරේ හා වන්නියේ පිහිටි නිවාස 2ක්ද ඇතුළුව යුද්ධය නිසා උතුරෙන් පලාගොස් වෙනත් රටවල පදිංචිව සිටින විශාල පිරිසකගේ දේපළ රාජසන්තක වන ලකුණු පහළ වී තිබේ. මෙයට හේතුව වී ඇත්තේ යුද්ධය නිසා ජනතාවට අහිමි වූ දේපළ හා නිවාස පිළිබඳ නිවැරැදි තොරතුරු සෙවීම සඳහා ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ ඇති සංගණනයේදී ප්‍රභාකරන්ගේ නිවාස 2ක ඇතුළු හිමිකම් නොකියන විශාල පිරිසකගේ දේපළ එම සංගණනයට ඇතුළත් නොකිරීමට ජන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තීරණය කර තිබීමය.
ඉන්දියන් එක්ස්ප්‍රස් ප්‍රවෘත්ති සේවය පවසන ආකාරයට ප්‍රභාකරන් සතුව තිබූ නිවාසවල අයිතියට හිමිකම් කීම සඳහා ඔහුගේ පවුලේ කිසිවකු ජීවත්ව නොසිටින නිසා මේ පියවර ගත් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩී.සී.ඒ. ගුණවර්ධන මහතා ඉන්දියන් එක්ස්ප්‍රස් ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබේ.
මේ සංගණනයේදී 1982න් පසු යුද්ධය නිසා සිදු වූ ජීවිත හා දේපළ හානි ලේඛන ගත කිරීමට නියමිතය.
ප්‍රභාකරන් සතුව නිවාස 2ක් තිබූ බවත්, ඉන් පළමුවැන්න වැල්වැටිතුරේද, දෙවැන්න වන්නි යුද කලාපයේ පැවැති තාවකාලික නිවෙසක් බවද සඳහන් වන අතර පළමු නිවෙසේ ප්‍රභාකරන්ගේ පියා හා මව 80 දශකයේ මුල් කාලය තෙක් ජීවත්ව සිට ඇත. යුද්ධය නිසා ඔවුන් දෙදෙනා ඉන්දියාවට පලා ගොස් ඇති අතර 2002 - 2004 සාම සාකච්ඡා පැවැති කාලයේ නැවැත ශ්‍රී ලංකාවට එන තුරු එම නිවෙසේ කිසිවකු පදිංචිව සිට නැත. ප්‍රභාකරන් හා ඔහුගේ පවුලේ උදවිය වන්නි යුද කලාපයේ තාවකාලික ආරක්‍ෂිත නිවෙස්වල වරින් වර පදිංචිව සිටියහ.
යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට සම්පූර්ණයෙන්ම සංක්‍රමණය වූ අයගේ නිවාස හා ඉඩම් ද මේ හේතුව මතම සංගණනයට ඇතුළත් නොකරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
දැනගන්නට ඇති පරිදි යුද්ධය නිසා උතුරේ දෙමළ ජාතිකයන් ලක්‍ෂ 10 - 11 ත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති අතර ඔවුන්ගේ නිවාස හා දේපළ එල්.ටී.ටී.ඊ. ය විසින් ද පසුව ආරක්‍ෂක හමුදා විසින්ද අත්පත් කරගෙන ඇත.
