මාවරල මල්ලිකාරාම විහාරස්ථානයේ බුදු මැඳුරෙහි සැඟව සිටි තරුණ පෙම්වතුන් යුවළක් මාවරල පොලිසියෙන් පෙරේදා (19 දා) පෙරවරුවෙහි අත්අඩංගුවට ගෙන විමර්ශනයක් කෙරිණි.
විහාරස්ථානයේ පූජාවකට සහභාගි වූ ආබාධිත උපාසිකා මාතාවක් බුදුන් වඳින්නට යන අවස්ථාවේ මෙම පෙම්වතුන් යුවළ බුදු මැඳුරෙහි මුල්ලක සිටිනු දැක, බිය වී කෑගසාගෙන ගොස් විහාරාධිපති හිමියන්ට කීමෙන් පසුව උන් වහන්සේ මාවරල පොලිසියට පැමිණිලි කොට තිබේ. පසුව පෙම්වතුන් පොලිසියට රැගෙන විත් ඇත.
තරුණයා පස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර තරුණිය රොටුඹ ප්‍රදේශයේ පදිංචිකාරියකි. තරුණයාගේ පියාත්, තරුණියගේ මවත් පොලිසියට කැඳවා තොරතුරු විමර්ශනය කිරීමේදී අනාවරණය වූයේ ඔවුන් කලක සිට මවුපිය අනුදැනුම යටතේ ඇසුර පවත්වාගෙන ගොස් ඇති බවකි.
විහාරස්ථානයේ බුදු මැඳුර තුළ පෙම්වතුන් ලෙස හැසිරීමේ අයහපත් කල්ක්‍රියාවට තරුණ යුවළ ලබන 23 දින විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් කොට විහාරාධිපති හිමියන්ගෙන් සමාව ගැනීම ප්‍රමාණවත් බව විහාරාධිපති හිමියෝ පොලිසියට පැවැසූහ.
ඒ අනුව තරුණ යුවළ ලබන සෙනසුරාදා මාවරල මල්ලිකාරාමයට පැමිණ උන්වහන්සේගෙන් සමාව ගත යුතු බව පොලිසිය ඔවුන්ට දැනුම්දී ඇත.
මවගේත් පියාගේත් තරුණ යුවළගේත් කට උත්තර සටහන් කර ගැනීමෙන් පසුව පොලිසිය ඔවුන් මුදා හැර තිබේ.
මාවරල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එස්. ලලිත් කුමාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක නානායක්කාර මහතා විමර්ශන කටයුතු සිදු කළේය.
