අවතැන් ජනතාවට රජය ඉටු කළ සේවය ගැන කරුණු කීවා
චැනල් ෆෝ ඔවුන්ට වුවමනා දේවල් පමණක් විකාශය කරලා
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනි නාලිකාවට තමා ලබාදුන් මිනිත්තු 45ක සම්මුඛ සාකච්ඡාව මිනිත්තු 3ක කෙටි කාලසීමාවකට සංස්කරණය කොට විකාශය කිරීම සදාචාරාත්මක නොවන බව හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ‘දිනමිණ'ට පවසයි.උතුරු නැඟෙනහිර යුද්ධය නිමාවීමෙන් පසුව අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මෙන්ම තමා නියෝජනය කරන ගුඩ්නස් පදනම මගින් ඉටු කළ සුබසාධන කටයුතු සම්බන්ධව හා යුද්ධයෙන් උතුරේ මෙන්ම දකුණේ ද ජනතාව පීඩා විඳි ආකාරය සම්බන්ධවත් ඉතා දීර්ඝ ලෙස කරුණු දැක්වූ බවත්, ඒ සියල්ල කපා දමා ඔවුන්ට අවශ්‍ය කරුණු පමණක් ගෙන හැර දැක්වීම කනගාටුදායක කරුණක් බවත් ඔහු කීවේය.‘යුද්ධයෙන් පසුව උතුරේ ජනතාව වෙනුවෙන් රජය ඉටුකළ කාර්ය භාරය පිළිබඳව මම මේ සම්මුඛ සාකච්ඡාවේදි පැහැදිලි කළා. උතුරේ අවතැන් වූජනතාව යළි නගා සිටුවීමට අවශ්‍ය පහසුකම් ලබාදිමත්, ඒ පළාත්වල සිදුකෙරෙන පුළුල් සංවර්ධන කටයුතු පිළිබඳවත් මෙහිදි මම පැවැසුවා. ඒ වගේම මා සම්බන්ධව සිටින ගුඩ්නස් පදනම මගින් උතුරේ ජනතාවගේ සුබසාධන කටයුතු සම්බන්ධව සිදුකෙරෙන ව්‍යාපෘති ගැනත් මම පැහැදිලි කළා.’ මුරලිදරන් පැවැසීය.
‘මම ඇත්ත ඇති සැටියෙන්ම ඔවුන්ට කරුණු දැක්වුවා. මේ යුද්ධයෙන් පිඩා වින්දේ එක පාර්ශ්වයක් පමණක් නොවන බවත්, පාර්ශ්ව දෙකම මේ යුද්ධයෙන් බැට කෑ බවත් මම මෙහිදී සඳහන් කළා. එක පැත්තක විතරක් නෙවෙයි.දෙපැත්තෙම අම්මලා තාත්තලා හඬා වැලපුණු බව මම ඔවුන්ට අවබෝධ කරදුන්නා. යුද්ධයෙන් පස්සේ මම උතුරට ගිහින් බලපු දේවල්, මම දැකපු දේවල් ඒ හැමදෙයක්ම මේ සාකච්ඡාවේදී මම කියා තිබෙනවා. නමුත් ඒ සියල්ල කපා හැරලා ඔවුන්ට අවශ්‍ය කරුණු පමණක් ඉස්මතු කිරීමටයි ඔවුන් උත්සාහ ගත්තේ. එය සම්පූර්ණයෙන්ම සදාචාරයට පටහැනි දෙයක් හැටියටයි මම දකින්නේ.’ මුරලිදරන් කීවේය.
ඔහුගේ දායකත්වය ලබන ගුඩ්නස් පදනම මගින් යුද්ධයෙන් පසුව එම පළාත්වල මාස 36කට අධික කාලයක් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් වැය කරමින් විවිධ ව්‍යාපෘතිවල නියැළුණු බව කී මුරලි, එම කාලයේදි උතුරේ අවතැන් වූ පවුල් 11,000කට මූලික පහසුකම් ලබාදීමට පියවර ගත් බව එම සම්මුඛ සාකච්ඡාවේ දී කියා තිබේ.
එමෙන්ම ඔවුන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද විවිධ සුබසාධන කටයුතු රාශියක් ක්‍රියාත්මක කළ බවත්, උතුරේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ගුඩ්නස් පදනම මගින් පාපැදි 4,000ක් පරිත්‍යාග කළ බවත් මුරලි සවිස්තරාත්මකව පැවැසූ කරුණු සියල්ල චැනල් ෆෝ රූපවාහිනී වැඩ සටහනෙන් කපා දමා ඇතැයි ඔහු චෝදනා කරයි.
