පියා අහිමි වූ අවුරුදු පහක් වයසැති කුඩා දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර අධිකරණය මගහැර සිටින මත්කුඩු ලෝලී සුළු පියාට වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග කළ නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අරුණි ආටිගල මහත්මිය සැකකරු වෙනුවෙන් ඇප අස්සන් කළ ඇපකරුට නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළාය.
මෙම සිද්ධියේ සැකකරු වන වෙල්සිරිපුර මාදිවෙල කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි එම්. හේමන්ත කුමාර නමැත්තාට එසේ වරෙන්තු නිකුත් කෙරුණු අතර නොතීසි නිකුත් කෙරුණේ ඇපකරු වන බටපොළ පදිංචි ඒ.ජී. ජිනසේන නමැත්තාටය.
කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන අතර ඇය මිරිහාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ සැමියා මියයෑමෙන් පසුව සිය දියණියද රැගෙන ගොස් සැකකාර සුළු පියා සමඟ ජීවත් වූ බවත් ඔහුට දාව වසර එකහමාරක තවත් දියණියක්ද සිටින බවත් ඔහු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු බවත්ය.
සැකකරු සමඟ ජීවත් වන අතරතුරදී එක්තරා දිනයක සිය කුඩා දියණියට අසනීප වීම හේතුවෙන් බොරැල්ලේ ළමා රෝහලේ නැවැතී ප්‍රතිකාර ලබාගත් බවත් එසේ නැවැතී සිටි කාලයේදී සිය පස් හැවිරිදි වැඩිමහල් දියණියද තමන් සමඟ එම රෝහලේ නැවැතී සිටි බවත් ඇය පවසා ඇත.
ඇය එසේ සිය දැරියන් දෙදෙනාද සමඟ රෝහල්ගතව සිටියදී එක්තරා දිනක එහි පැමිණි සැකකාර සුළු පියා වැඩිමහල් දියණිය නිවෙස වෙත රැගෙන ගොස් පසු දිනකදී රෝහල වෙත පැමිණ දියණිය වමනය දමන බවත්, බඩ රිදෙන බව පවසන බවත්, දියණියගේ ඇඳුම්වල ලේ තැවැරී තිබෙන බවත් එම මවට පවසා ඇත.
පසුව මව කුඩා දියණිය සමඟ බලෙන්ම ටිකට් කපාගෙන නිවෙස වෙත පැමිණි දියණියගෙන් තොරතුරු විමසන විට ඇයට සැකකාර සුළු පියා විසින් සිදු කළ බරපතළ ලිංගික අතවරය පිළිබඳ පවසා ඇති බවත් ඒ වන විටද එම දැරිය කතා කර ගැනීමට පවා නොහැකිව බරපතළ තත්ත්වයක පසුවී ඇති බවත් පැමිණිලිකාර මව පොලිසිය වෙත පවසා ඇත.
මෙම සිද්ධිය හෙළිදරව් වීමෙන් පසු සැකකාර සුළු පියා ප්‍රදේශයෙන් පැනයෑමට උත්සාහ දැරීමේදී අසල්වාසීන්ගේද සහාය ඇතිව ඔහු අත්අඩංගුවට ගෙන මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර පසුව ඔහු ඇප මත මුදා හැර තිබුණි.
