පාසැල නිමාවී ගෙදර බලා යන සිසුවියන්ට තම රහස් ප්‍රදේශය පෙනෙන අයුරින් හැසිරුණු කරණවෑමියකු මොරටුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිසා විනිසුරු හා ප්‍රධාන මහෙස්ත්‍රාත් අරවින්ද පෙරේරා මහතා විසින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරනු ලැබීය.
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ විදුහලකට නුදුරින් පිහිටා ඇති බාබර් සාප්පුවක් පවත්වාගෙන යන මෙම සැකකරු එම සාප්පුව තුළ පුටුවක හාන්සි වී තම පුරුෂ නිමිත්ත පෙනෙන පරිදි පත්තරයක් බලමින් සිටින බව ආසන්න විදුහලේ ඉගෙනුම ලබන දැරිවියන් තිදෙනකු දැක ඇත.
ඒ අසල බස් නැවැතුම්පොළෙක්ද පිහිටා ඇති අතර පාසල අවසන් වී ගෙදර බලා යෑමට බස් නැවැතුම්පොළට සිසු දරුවන් පැමිණෙන අවස්ථාවලදී මෙම පුද්ගලයා මෙසේ හැසිරීමට පටන්ගෙන ඇත. මොහුගේ මෙම හැසිරීම නිසා බියට පත් සිසුවියන් මේ සම්බන්ධයෙන් තම විදුහල්පතිනියට පැමිණිලි කර ඇති අතර පසුව මේ බව මොරටුව පොලිසියට දන්වා ඇත.
