මීට අවුරුදු තුනකට පෙර නිට්ටඹුව නගරයේදී අමානුෂික අයුරින් වෙඩි තබා ඝාතනය කළ නිට්ටඹුව එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුරංග පීරිස් මහතාගේ ඝාතනයට සම්බන්ධ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එරික් සුසන්ත ඇතුළු පුද්ගලයන් හය දෙනකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2010 ජුනි මස පළමුවැනිදා සුරංග පීරිස් මහතා ඝාතනය වූ අතර මෙය දෙස් විදෙස් ආන්දෝලනාත්මක සිද්ධියක් විය.
මෙම සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සතුව තිබි අත්බෝම්බයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින වේයන්ගොඩ සමරේ නමැත්තා සතුව තිබි ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30ක්ද සොයාගෙන තිබේ.
වසර ගණනාවක සිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විවිධ පොලිස් කණ්ඩායම් රැසක් යොදවා තිබිණි.සුරංග පීරිස් මහතා 2010 ජුනි පළමුවැනිදා රාත්‍රියේ නිට්ටඹුව නගරයේ පිහිටි තොරණක වැඩකටයුතු අවසන් කරමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක් විය.මෙහි වැඩිදුර පරීක්ෂණ රහස් පොලිසිය විසින් පවත්වනු ලබයි.සුරංග පීරිස් වසර ගණනාවක් ඉතාලියේ පදිංචිව සිට මෙරට පදිංචියට පැමිණි අයෙකි. නමුත් පසුව නිට්ටඹුව නගරයේ තොග වෙළෙඳාම් කටයුතුවල යෙදී සිට ඇත. ඉන් අනතුරුව මොහුගේ තිබූ ජනප්‍රියතාව හේතුවෙන් දේශපාලනයට සම්බන්ධ වී ඇති අතර ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂයටද පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයටද සම්බන්ධ වී තිබේ.
මොහු ප්‍රථමයෙන් නිට්ටඹුව ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිව සිට අනතුරුව නිට්ටඹුව එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති ධුරයට පත්විය. එහිදී මොහු දේශපාලනයට සෘජුව සම්බන්ධ වී ක්‍රියාකාරිකයකු වී ඇත. ප්‍රදේශයේ දේශපාලනඥයින් සමග සමීපව කටයුතු කිරීමට වඩා ස්වාධීනව කටයුතු කිරීම ඔහුගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. මේ හේතුවෙන් දේශපාලන ගැටුම් ද සිදු වී ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් වේයන්ගොඩ සමරේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ප්‍රකාශ මත අත්බෝම්බයක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ සන්තකයේ තිබෙන බවට අනාවරණය වූ හෙයින් අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.මේ වනවිට මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති අතර වේයන්ගොඩ සමරේ ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන ඇත.
