දහතුන් හැවිරිදි මුස්ලිම් ජාතික බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන පෞද්ගලික සමාගමක රියැදුරෙක් අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු විසින් ඊයේ (28දා) අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ.
අනුරාධපුර නගරයේ තුන්වැනි පියවර කඩ 05 ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර මුස්ලිම් ජාතික දැරිය අනුරාධපුර කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශයට ඉකුත් සෙනසුරාදා (26දා) කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු සහ ඔහු එදින දැරිය පැහැරගැනීමට භාවිත කළ වෑන් රථය කඩ 05 ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් අසල නවතා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පෞද්ගලික දුරකතන සමාගමක ඉන්ජිනේරුවකුගේ රියැදුරකු වශයෙන් සේවය කරන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
පාසල් නොයන මෙම දැරිය මිත්තණිය සමඟ නිවෙසේ ජීවත්වන බවත්, ඉකුත් 25 වැනිදා මිත්තණිය සමඟ අමනාප වී රාත්‍රි 9.30ට පමණ නිවෙස ඉදිරිපිට මාර්ගයට පැමිණි අවස්ථාවේ වෑන් රථයෙන් පැමිණි සැකකරු බලහත්කාරයෙන් ඇය වෑන් රථයට නංවාගෙන පාළු ස්ථානයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවත් පොලිසිය කියයි.
ඉන් අනතුරුව සැකකරු දැරියව මහමඟ දමා වෑන් රථයෙන් පලාගොස් තිබේ. අත්අඩංගුවට ගත් තරුණයා ඊයේ (28දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
