මෝටර් රථයක් තුළ පෙට්රල් දමා සිය බිරිය පුලුස්සා දැමීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට පානදුර පළාත් බද මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී අබේවර්ධන මහත්මිය විසින් ඊයේ (05දා) මරණීය දණ්ඩනය නියම කළාය.මරණ දඬුවම් නියම වූයේ පිළියන්දල පදිංචි මැක්ලින්කන් ප්‍රනාන්දු හෙවත් රොබින් නමැති 54 වියැති පුද්ගලයකුටය.
පානදුර මහාධිකරණ බල සීමාව තුළ පිහිටි පිළියන්දල ෙදාලේකනත්ත ප්‍රදේශයේ පදිංචි දීපා ඩිලානි වෙල්ලාල නමැත්තියට 1992 මැයි මස 21 වැනි දින 8 ශ්‍රී 8671 දරන රෙනෝල්ඩ් වර්ගයට අයත් මෝටර් රථයක වාඩිවීමට සලස්වා පෙට්රල් දමා ගිනි තබා මරා දැමීම සම්බන්ධව දණ්ඩනීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මෙම දඬුවම නියම කරන බව විනිසුරුවරිය පැවැසුවාය.
සිය බිරිය මරාදැමීමට චූදිතයා උපක්‍රමශීලීව කටයුතු කර ඇති බවටත් මෙය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවටත් පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පුකර ඇති බවටත් තීන්දුව ලබාදෙමින් විනිසුරුවරිය ප්‍රකාශ කළාය.
මිනීමැරුම සම්බන්ධව අවසාන වශයෙන් චූදිතයාට කීමට ඇත්තේ මොනවාදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ චූදිත මෙසේ කීවේය. මරා දමන ලද තම නීත්‍යනුකූල බිරියගෙන් තමාට එක් දරුවෙක්ද දැනට විවාහවී ඇති බිරියගෙන් තවත් දරුවෙක්ද සිටින බවත්, තම මව ඉතා මහලු වියේ අසරණව පසුවන හෙයිනුත් මෙම දඬුවම ලිහිල් කර මරණ දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.
මීට වසර 20කට ඉහතදී සිදුකරන ලද මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් වූ පුද්ගල සාක්ෂි හා පර්යේෂණ සාක්ෂි අනුව මෙය මිනීමරුමක් බවට ඔප්පු වී ඇති හෙයින් චූදිතගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන බව විනිසුරුවරිය පැවැසුවාය.නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම රජයේ නීතිඥ චමල්කා සමරසිංහ මහත්මිය විසින් සිදුකරන ලදී.
