දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් පිරිසක් රවටා ඔවුන් නීත්‍යානුකූල ලෙස විවාහ කරගත් යුද හමුදාවේ සේවයෙන් පලා ආ අනංගයෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් බදාදා (04) අත්අඩංගුවට ගෙන ඇත. මොහු අවුරුදු 18 කට ආසන්න කාලයක් කාන්තාවන් රවටමින් කාන්තාවන් පස්දෙනෙකු නීත්‍යානුකූල ලෙස විවාහ ලියාපදිංචි කොට ඔවුන් සමග ජීවත් වී ඇති අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු විවාහ කර නොගනිමින් ඔවුන් සමගද වසර ගණනාවක් අඹුසැමියන් ලෙස ඇසුරක් පවත්වා ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.මෙම පුද්ගලයා කර ගත් විවාහ වලින් ඔහුට අවුරුදු 05, 07,09, 16 හා මාස 09 වයස් වල ගැහැණු සහ පිරිමි දරුවන් සිටින බවද පොලිසිය පවසයි. මොහු අවසන්වරට රාජාංගනය යාය 15 ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වී සිට ඇති අතර ඉකුත් මස 19 වනදා මොහු හදිසියේම අතුරුදහන්වීම සම්බන්ධයෙන් අදාල කාන්තාව නොච්චියාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
සැකකරු මීට වසර 17 කට පමණ ඉහතදී ප්‍රථමයෙන් විවාහ වූ කාන්තාව සමග නැවත කහටගස්දිගිලිය රන්පත්විල ප්‍රදේශයේ සිටිය දී අත්අඩංගුවට පත් වී ඇත. ඔහුගෙන් පුලුල් ලෙස සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කාන්තාවන් පස් දෙනෙකු විවාහ කරගෙන සිටින බවත් තවත් කාන්තාවන් දෙදෙනෙකු විවාහ කර නොගෙන ජීවත් වන බවත් පාපොච්චාරණය කර ඇත. වසර 06 ක කාලයක් යුද හමුදාවේ සේවය කර හමුදා සේවයෙන් පළාවිත් අනතුරුව කටුනායක ප්‍රදේශයේ ඇඟලුම්කම්හලක සේවය කරද්දී කහටගස්දිගිලිය රන්පත්විල ප්‍රදේශයේ කාන්තාව හමුවී ඇය විවාහකරගෙන විදේශ ගත වූ බවද පොලිසයට පාපොච්චාරණය කර ඇත. මොහු කටාර් සහ මැලේසියා යන රටවල සේවය කර ඇති බවත් කහටගස්දිගිලිය රන්පන්විල, රාජාංගනය, කොස්වත්ත, නිකවැරටිය, ආනමඩුව හා හලාවත යන ප්‍රදේශ වල කාන්තාවන් සමග විවාහ සහ විවාහ නොවී කාන්තාවන් ඇසුරු කර ඇති බව පොලිසිය පවසයි. මොහු සියලුම කාන්තාවන් ඔහු භාවිතා කරන සත්‍ය නම් සහ ලිපිනය ලබා දී ඇති බව පොලිසිය පවසයි.
මොහු කාන්තාවන් රවටා ඔවුන්ගේ මුදල් වංචා කිරීමට පෙළඹී ඇති බවත් දිවයිනේ වෙනත් ප්‍රදේශ වල පුද්ගලයන් විදේශ ගත කරන බව පවසා මුදල් වංචා කර ඇත්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන බවද පොලිසිය පවසයි.