ඕමන්ත සිට කිලිනොචිචිය දක්වා කිලෝමීටර් 63 ක දුරක් අලුතින් ඉදි කළ දුම්රිය මාර්ගය හා දුම්රිය ස්ථාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 14 වැනිදා පෙරවරු 10 ට විවෘත කෙරේ.
ඒ අනුව ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වන විට යාල්දේවී දුම්රිය පැය 6 කින් යාපනය බලා ගමන් කරවීමට අවශ්‍ය කටයුතු යොදන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.
වසර විසි තුනකට පසු යාල්දේවී දුම්රිය කිලිනොච්චිය දක්වා ධාවනය කිරීමේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය. මෙම දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ධාවනය කළ හැකි ආකාරයට සකස් කර තිබෙන අතර 2014 ජුනී මාසය වන විට උතුරු දුම්රිය මාර්ගය කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා වැඩ නිම කිරීමට නියමිතය.
ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා දුම්රිය මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව යාල්දේවී ඇතුලු දුම්රිය තුනක් දිනපතා කිලිනොච්චිය දක්වා ධාවනය කිරීමට කටයුතු යොදන බවත් ඒ වෙනුවෙන් අලුතින් දුම්රිය මැදිරි 100 ක් ගෙන්වන බවත් ඇමැතිවරයා කීවේය.
එමඟින් උතුරේ හා දකුණේ ජනතාවට නෑගම් යාම ප්‍රශ්නයක් නොවන බවද ඒ මහතා කීවේය. ඉතා කෙටි කලක් තුළ උතුරු දුම්රිය මාර්ගයේ නගරාන්තර දුම්රියක්ද ධාවනය කරන බවත් වෙල්ගම මහතා සඳහන් කළේය.