උතුරු ප්‍රදේශයේ ඉපැරැණි ස්ථාන හා ස්මාරක හඳුනා ගැනීමේ අරමුණින් සිදුකරන ලද ගවේෂණවලදී ප්‍රදේශයේ ජනතාව වැසිකිළි වළවලට ඓතිහාසික වටිනාකමක් ඇති සඳකඩ පහන්ද, රෙදි සේදීමට සිරි පතුල් කැටයම් කළ ගල්ද භාවිත කරමින් සිටි බවත් හමුදාවේ සහයෝගය ඇතිව ඉපැරැණි උරුමයේ වටිනාකම පිළිබඳව උතුරේ ජනතාව දැනුම්වත් කරමින් ඒවා එම ස්ථාවලින් ඉවත් කරගන්නා ලද බවත් පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරිනී වාසනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍යට පැවැසුවාය.
යුද්ධය නිමාවීමත් සමඟ 2010 වර්ෂයේදී අදියර කිහිපයක් ඔස්සේ උතුරේ පුරාවිද්‍යාත්මක ස්ථාන ගවේෂණය කිරීම ඇරැඹූ බවත්, මේ වන විට අදියර 13ක් ඔස්සේ එම කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, උතුරු ප්‍රදේශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කළ සංඛ්‍යාව ඉක්මවමින් මේ වන විටත් ඓතිහාසික වටිනාකමක් ඇති පුරාවස්තු හමුවෙමින් පවතින බවත් ඇය පැවැසුවාය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘති යටතේ ලද ආධාර මඟින් ඇරැඹූ මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන ගවේෂණය කිරීමේ වැඩසටහන යටතේ මුලතිව් ප්‍රදේශයෙන් ස්ථාන 116ක්ද, මන්නාරම් ප්‍රදේශයෙන් ස්ථාන 60ක්ද, වවුනියාව ප්‍රදේශයෙන් ස්ථාන 50ක්ද, කිළිනොච්චියෙන් ස්ථාන 14ක්ද හමු වූ බව පර්යේෂණ නිලධාරිනිය පැවැසුවාය.
උතුරේ හමුවූ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන අතර පොදුවේ බෞද්ධ වෙහෙර විහාරද, බි්‍රතාන්‍ය ජාතිකයන්ගේ සමයේ ඉදිකරන ලද ඉපැරැණි බි්‍රතාන්‍ය ගොඩනැඟිලිද, හින්දු දේවාලද, කතෝලික පල්ලිද ඇති බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය. අනුරාධපුර යුගයටත් වඩා අෑතට දිවෙන බෞද්ධ වෙහෙර විහාරවල නටබුන් මේ වන විට උතුරුකරයෙන් හමුවී ඇති බවද ඇය පැවැසුවාය. යුද සමයේදී එල්. ටී. ටී. ඊ. බංකර සඳහා එම ඉපැරැණි බෞද්ධ ස්තූප පවා යොදාගෙන ඇති බවද මෙම ගවේෂණ වැඩපිළිවෙළ අවසානයේදී එම පුරාවිද්‍යාත්මක ස්ථාන සියල්ලක්ම සංරක්‍ෂණය කිරීම සඳහා යෝජනා කොට ආරක්‍ෂිත ස්ථාන ලෙස නම් කරන බවද පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරිනිය පැවැසුවාය.
පුරාවිද්‍යා පර්යේෂණ සහකාර නිලධාරීන් වන අයි. පී. එස්. නිශාන්ත, නිමල් පද්මසිරි යන මහත්වරුන්ද ඡායාරූපකරණයේදී පාලිත හේරත් මහතාද මේ වන විටත් ගවේෂණ කටයුතුවල නියැළෙන බවද පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරිනී වාසනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.
