කොටි තහනම ඉවත් කිරීම යුරෝපයටම තර්ජනයක්
තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි අවධානය
ඉදිරි ක්‍රියාමාර්ග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්
විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි
එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා කොමිසම පනවා තිබූ තහනම යුරෝපා කොමිසමේ අධිකරණය (ECJ) මඟින් ඊයේ ඉවත් කරනු ලැබීය. තහනම ඉවත් කර ගැනීම සඳහා පවරන ලද නඩුවේ වියදම අදාළ පාර්ශ්ව මඟින් දරා ගත යුතු බවට මෙම අධිකරණය තවදුරටත් නියම කර තිබේ. අධිකරණයේ මෙම තීරණය මාස 3ක කාලයකින් පසු බලාත්මක වන බවටද නියම කර තිබේ.
මේ අතර එල්.ටී.ටී.ඊ. සම්බාධක ඉවත් කිරීමට යුරෝපා
සංගමයේ අධිකරණය (ECJ) දුන් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙම තීන්දුවත් සමගම යුරෝපා කලාපය පුරා වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති යුරෝපා පුරවැසියන්ගේ ආරක්ෂාව ත්‍රස්තවාදීන් හමුවේ අවදානමකට ලක්ව ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වුවද මෙම අධිකරණ තීන්දුවට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුරෝපා රටවල බලධාරීන්ට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවද අමාත්‍යාංශය තවදුරටත් කියා සිටී. මෙම නඩු තීන්දුව ඊට අදාළ සියලු පාර්ශ්වයන් සමඟ ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන බවත් මෙම තීන්දුවෙන් යළිත් එල්.ටී.ටී.ඊ හිතවාදී ක්‍රියාකාරකම් යුරෝපා කලාපයේ වැඩිවිය හැකි බවද විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.
ත්‍රස්තවාදී ක්‍රියා සැලකිල්ලට ගෙන 2006 දී යුරෝපා කොමිසම හා එහි සාමාජික රටවල් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කළේය. කොමිසම එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ අතර අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව කැනඩාව මහා බ්‍රිතාන්‍යය හා ශ්‍රී ලංකාව ද එල්.ටී.ටී.ඊය තහනම් කළේය.
