මාතර යුද පිටියක් කළ එජාප ගැටුම:
මංගල අත්අඩංගුවට- අධිකරණ නියෝගයක්
ගෝලයෝ 10කුත් අත්අඩංගුවට ගන්න නියෝග
කහටපිටිය, සුරනිමල, සුදත් චන්ද්‍රසේකර, හා එච්.ආර්. විමලසිරි ඒ අතර
සැකකරුවෝ 33ක් තවදුරටත් රිමාන්ඩ්
පෙරෙට්ටුවේදී දෙදෙනකු හඳුනා ගනී
දෙදෙනාම මංගලගේ ආධාරකරුවෝ
මෛත්‍රීගේ පියා උසාවි ගෙනත් නෑ
ජෝන්-තිස්ස-එරාන් උසාවි ඇවිත්
අධිකරණය අවට දැඩි රැකවල්
පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බවට බල කරමින් පැමිණි පා ගමනට මාතර දී ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු තවත් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා ඊයේ (14) පොලිසියට නියම කළේය.
අත්අඩංගුවට ගැනීමට නියෝග කළ අය අතර සුදත් චන්ද්‍රෙස්කර, කිත්සිරි කහටපිටිය, සුරනිමල රාජපක්ෂ හා එච්.ආර්. විමලසිරි ඇතුළු පිරිසක් සිටින බව පොලිස් ප්‍රකාශකයෙක් දිනමිණට පැවැසීය.
මේ පා ගමනට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකරුවන් 33 දෙනා ගෙන් සැකකරුවන් දෙදෙනකු මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (14) පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්කිකරුවකු විසින් හඳුනාගන්නා ලදී.
පා ගමන සංවිධානකළ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් චරිත ගුණරත්න මහතා විසින් පෙරට්ටුවේදී මෙසේ හඳුනා ගන්නා ලද්දේ මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් හුස්කි නමැති මාතර නාගරික මන්ත්‍රීවරයා හා ජයලාල් හේමප්‍රිය යන දෙදෙනාය. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ආධාරකරුවෝය.
පසුගිය පස්වැනි දින මාතර නගරයේ සිදු වූ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 32 හා ඊයේ මාතර පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 21 දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය.
මෙම සැකකරුවන් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිලි තුනකට අදාළව හඳුනාගැනීමේ පෙරට්ටු පැවැත්වීමට නියමිතව තිබුණි.
මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න හා පුතා වන චරිත ගුණරත්න යන දෙදෙනාට පහරදීමේ පැමිණිලි වලට අදාළ හඳුනාගැනීමේ පෙරට්ටු වැඩබලන මහේස්ත්‍රාත් චරිත නානායක්කාර මහතා හමුවේ පවත්වයි. එහිදී ඉදිරිපත් කළ සාක්කිකරුවන්ගෙන් චරිත ගුණරත්න දෙදෙනකු හඳුනා ගත්තේ එම සැකකරුවන් තමන්ට පහරදුන් අය ලෙසය.
පෙරට්ටුවට ඉදිරිපත් කළ මෛත්‍රී ගුණරත්න මහතාගේ රියැදුරු පෙරුමාල් නමැති සාක්කිකරුට කිසිම සැකකරුවකු හඳුනාගැනීමට නොහැකි විය. හර්මන් මාලිංග ගුණරත්න මහතා දැනට ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හෙයින් ඔහු සාක්කිකරුවකු ලෙස පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නොහැකි බව පොලිසිය දන්වා සිටියේය.
මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා වෙත සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය. සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව දන්වා සිටි පොලිසිය විමර්ශන අවසන් නොමැති බව කීය.
අවසන් වරට පෙරට්ටුව සඳහා දිනයක් ලබාදෙමින් ලබන 21 දින ගුණරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කෙළේය. සාක්කිකාර ගුණරත්න මහතා පෙරට්ටුවට ඉදිරිපත් නොවන්නේ නම් එය අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නියම වූයේ ලයනල් කොඩිකාර, එස්.වී. චන්ද්‍රසිරි, උෂාන් මධුහංස ජයසිංහ, සම්පත් චාමික කොඩිතුවක්කු, මොහොමඩ් බසීර් මොහොමඩ් ඉර්ෆාන්, චින්තිකා ලලනි, කේ.එම්. චමින්ද, ලහිරු ජයසිංහ, එච්.ඩබ්. සජිත් දිල්රුවන්, ඒ. කේ. අමිල සම්පත්, හේවා ලංගප්පුලිගේ සුරේෂ් ජගත් කුමාර නල්ලපෙරුම, මහේෂ් විජේසේකර, එච්.බී. ජානක සංජීව, නලින් කුමාර අබේගුණවර්ධන, එච්.ඩබ්ලිව්. ගයාන් සංජීව, මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් නුස්කි, උපුල් නිශාන්ත, එච්. සමීර, එම්. කේ. ගාමිණි සංජීව, අජිත් ප්‍රියන්ත ජයවීර, කේ. මදුරංග, අනුර සමරතුංග, එල්.බී. ජානක සංජීව, පී.එච්. බන්දුල රුචිර නාලක සමරවීර, ජී.කේ.ඒ. පේමසිරි, ප්‍රගීත් දහනායක යාපා, ජනිත් රෝහන අබේවර්ධන, ඒ.කේ. ජයරාජ් හෙලප්‍රිය, එච්.වී. සුසිල් ප්‍රියදර්ශන, ජාලිය ජයවර්ධන, ඒ.එච්. සිරිමල්, එච්.එම්. ප්‍රියංකර, එන්. දර්ශන, චමින්ද රොඩ්රිගු යන සැකකරුවෝය.
ජෝන් අමරතුංග, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඊයේ (14) අධිකරණය වෙත පැමිණ සිටියහ. මෙම පැමිණිල්ල කැඳවීම සඳහා අනෙක් නඩු වලට පැමිණ සිටි පිරිස් අධිකරණ භූමිය තුළ උදේ වරුවේ ඇතුළු කර ගත්තේ නැත. ඔවුන් මාර්ගයේ රැඳී සිටි අතර විශේෂ ආරක්ෂාවක් සපයා තිබුණි.
මෛත්‍රී ගුණරත්න විශ්ව ගුණරත්න මහත්වරුද පැමිණ සිටියහ.
.
