මහත් අනුහස් ඇති භක්තියකින් වන්දනාමාන කළ දේව ප්‍රතිමාව විනාශ කර ඇති අයුරු දුටු හින්දු බැතිමතුන් විලාප තබමින් දේව ප්‍රතිමාව විනාශ කළ පාපතරයන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස දඹුලු ගල දෙසට හැරී ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලමින් හිත්වේදනාවෙන් විලාප නඟනු දක්නට ලැබිණි. පූජා භූමියේ කඩිනම් සංවර්ධන කටයුතු හේතුවෙන් කෝවිල එම ස්ථානයෙන් ඉවත් වන බව පවසා දේව ප්‍රතිමාව උයන්වත්ත විහාරයේ තැන්පත් කිරීම සඳහා වැඩමවාගෙන යෑමට පසුගිය මස 14 දින පැමිණි දඹුල්ල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ හිමිවරුන් ලබාදුන් පොරොන්දුව මත ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියන් දැනුම්වත් කිරීමෙන් පසු මේ මස 15 වැනි දින දඹුල්ල කණ්ඩලම සිල්වා මාවත ප්‍රදේශයේ ඉදිකළ තාවකාලික ටකරම් මඩුවකට දේව ප්‍රතිමාව වැඩම කිරීමට කටයුතු සූදානම් කර තිබියදී දේව ප්‍රතිමාව විනාශ කර දැමීමට කටයුතු කිරීම ගැන ප්‍රදේශයේ හින්දු බැතිමතුන්ට හිත් වේදනාවක් පවතින බව කෝවිල භාර කේ. ලෙච්චමී මහත්මිය පැවැසුවාය.
සිද්ධිය වූ ස්ථානයේ (02දා) සුබ මොහොතින් ආරම්භ වූ උඩවැවේ සංවර්ධන කටයුතු සොයා බැලීමට එම ස්ථානයට වැඩම කර සිටි රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහනායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ට දේව ප්‍රතිමාව විනාශ කර ඇති බව සැලවී උන්වහන්සේ ඊයේ කෝවිලට වැඩම කර බැතිමතුන්ගෙන් කරුණු විමසා ඔවුන්ට පැවැසුවේ දේව ප්‍රතිමාව විනාශ කිරීම යම්කිසි කඩාකප්පල්කාරීන්ගේ කටයුත්තක් බවත්, කිසිම අවස්ථාවක සිංහල හෝ දෙමළ ජනතාව කෝවිලේ දේව ප්‍රතිමාව විනාශ කිරීමට තරම් සැහැසි නොවන බවත්ය. ශ්‍රී භද්‍රකාලි මෑණියන්ට සැබෑ හාස්කම් ඇත්නම් මෑණියන් නිහඬව නොසිට දේව ප්‍රතිමාව විනාශ කළ පාපතරයන්ට දඬුවම් ලබාදී භද්‍රකාලි මෑණියන්ගේ බල පරාක්‍රමය පෙන්විය යුතු බවද නා හිමියෝ පැවැසූහ. කෝවිලේ දේව ප්‍රතිමාව බලෙන් රැගෙන යෑමට විවිධ කණ්ඩායම් උත්සාහ කරන බව කෝවිල භාර කේ. ලෙච්චමී මහත්මිය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබියදී දේව ප්‍රතිමාව පැහැරගෙන ගොස් මෙසේ විනාශ කර තිබේ.
දේව ප්‍රතිමාව පැහැරගෙන ගොස් විනාශ කිරීම සම්බන්ධයෙන් දේවාලයේ ආවතේවකාරියක වන එස්. සරස්වතී මහත්මිය විසින් අංක පීඩීටීපී 2/46/30 යටතේ දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇත. මේ දේව ප්‍රතිමාව පූජා භූමියෙන් ඉවත්කර වෙනත් ස්ථානයක එනම් කණ්ඩලම සල්ගාදු මාවතේ පර්චස් හතරක භූමියක දේවාලයක් ඉදිකර තැන්පත් කිරීමට සැලසුම් කළ බවත් අවශ්‍ය මුදල් සොයා ගැනීමේ දුෂ්කරතාව නිසා ලබන 15දා දක්වා කල් ලබාගැනීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, පොලිසියට හා උයන්වත්ත විහාරාධිපති හිමියන් හමුවී කල් ලබාගෙන තිබියදී දේව ප්‍රතිමාව විනාශ කර දමා ඇති බව කරුපන් වල්ලිඅම්මා මහත්මිය පැවැසුවාය.
'සවස හයෙන් පසු මේ භූමියට කාටවත් ඇතුළු වෙන්න නාගරික සංවර්ධන අධිකාරිය ඉඩ දෙන්නේ නැහැ. නාම පුවරු ගහලා ඒ බව දැනුම් දී තිබෙනවා. කෝවිලට පොලිස් ආරක්‍ෂාව දෙන්න කියලා අපි ඉල්ලා තිබුණා. කාලි අම්මා දේව මෑණියන්ට කළගුණ පුද පූජා සිදුකර නව ස්ථානයේ තැන්පත් කිරීමට තිබියදී මේ කඩාකප්පල්කාරී කටයුත්ත කරලා' යැයිද ඇය කීවාය. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් දඹුල්ල පොලිසිය මඟින් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය වූ ස්ථානයට බොහෝ දමිළ, සිංහල පිරිස් එක්ව සිටින අතර දමිළ ජනතාව දැඩි නොසන්සුන්කාරී ලෙසද හැසිරෙනු දක්නට ලැබිණි.