ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රි කේ.ඒ. ආඩිඅප්පු මහතා තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුණා යැයි මාධ්‍යවලින් ප්‍රචාරය කරමින් කළ අපහාසයට විරුද්ධව පෙරේදා ගල්ගමුව රෝහල ඉදිරිපිට බස්නැවැතුමේ වහලය මත නැඟී උපවාසයක් ආරම්භ කිරීමෙන් අනතුරුව මන්ත්‍රිවරයා බස් නැවැතුමේ වහලයෙන් බිමට ඇදගෙන වැටීම නිසා ගල්ගමුව මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළේය.
ප්‍රතිකාර ලැබීමෙන් පසු බරපතළ තුවාල හෝ හානියක් නොමැති නිසා පැය කිහිපයකට පසු ඔහු රෝහලෙන් පිටත්ව ගියේය. "මම වසර 20ක් ගල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ලෙස මහජන සේවයේ යෙදෙනවා. මට කීයටවත් නිදහස් සන්ධානයට එකතුවන්න අවශ්‍යතාවක් නැහැ. මම හොඳ එක්සත් ජාතික පාක්‍ෂිකයෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා යූ.ඇන්.පීය දාලා ගියත් මම යන්නේ නැහැ.
මම පෙරමුණට එකතු වුණා කියලා බොරු ප්‍රචාර දීලා මටත් අපහාස කළා. මේකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ දයාසිරි ජයසේකරයි. පක්‍ෂ මාරු කළා කියමින් මේ කළ අපහාසය හා අපහසුව වහාම නිවැරැදි කළේ නැත්නම් මම මාරාන්තික උපවාසයක් කරනවා" යැයි කීය.
