- සංහිඳියාව සම්බන්ධ කාර්යයන් ඉටුකිරීමට ශ්‍රී ලංකාවට කාලයක් ඕනෑ
- සිවිල් පරිපාලන කටයුතුවලට ආරක්ෂක හමුදාවන් කිසිවිටෙකත් සම්බන්ධ නෑ
- උතුරේ ජන සංයුතිය වෙනස් කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නෑ
මානව හිමිකම් කවුන්සලයේ 25 වැනි සැසිවාරය අමතමින් ඇමැති ජී.එල්.
පීරිස් කියයිමෙරට සිදුව ඇතැයි පවසන මානව හිමකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකළ යුතු බවට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ අවධාරණය කරයි.
එම වාර්තාව අත්තනෝමතික සහ දේශපාලනික අවශ්‍යතාවයන් මත ඉදිරිපත් කර ඇති වාර්තාවක් වන අතර ඊට අමතරව එය මහ කොමසාරිස්වරියගේ බලතල ඉක්මවා යාමක් බවද උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂමේ නිර්දේශයන්ට අනුගත වූවක් නොවන බවද විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කරයි.
ඇයගේ වාර්තාවේ සඳහන් බොහෝ කරුණු ගැටළු සහඟත කරුණු පදනම් කරගත් තොරතුරු මත ඉදිරිපත් කර තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා ඒවා තෝරා බේරාගෙන අත්තනෝමතික නිගමනයන්ට එළඹ තිබෙන බවද සංහිඳියාව සම්බන්ධ කාර්යයන් ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් කාලයක් දියයුතු බවද කි යාසිටී. මේ අතර ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනයට අදාළ අභ්‍යන්තර කාරණා සඳහා මේ වාර්තාව මඟින් මැදිහත් වීමක් සිදුකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජගත් මානව හිමිකම් කවුන්සලයේ 25 වැනි සැසිවාරය ඊයේ (05) ඇමතූ අවස්ථාවේදීය. යුද ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව ලබා තිබෙන ජයග්‍රහණ, ඒ වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් මෙහිදී ජගත් මානව හිමිකම් කොමිෂම දැනුවත් කළ බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ මහකොමසාරිසවරියගේ වාර්තාව මුළුමණින්ම පදනම් විරහිත මෙන්ම සාවද්‍ය කරුණු මත පදනම්ව ඇති බැවින් එම වාර්තාව මෙන්ම ඉදිරිපත් කරන යෝජනාවද ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බවයි.
ඇයගේ වාර්තාව පසුගිය පස් වසර පුරා රජය ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් කිසිඳු තැකීමක් ඇතිකර නොමැති අතර ප්‍රතිසංධාන ක්‍රියාවලිය ඇතුළු සංකීර්ණතාවය පිළිබඳවද අවධානය යොමුකර නැතැයි විදේශ කටයුතු ඇමැතිවරයා චෝදනාකර ඇත. එය ප්‍රතිසංධාන ක්‍රියාවලිය හානියට පත් කරමින් ශ්‍රී ලාංකික සමාජයේ හුදෙකලා කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් දකින බවද ඒ මහතා පෙන්වාදී තිබේ.
ලෝකයේ වෙනත් ප්‍රදේශයන්හි බරපතල ලෙස අවධානය යොමුකළ යුතු කාරණා තිබුණද ඒ කිසිදෙයක් ගැන නොතකා තෝරාගත් ඉලක්කයන් කෙරෙහි පමණක් ජගත් මානව හිමිකම් කොමිෂම ක්‍රියාත්මකව ඇති බව ශ්‍රී ලංකාව කෙරෙහි අනුගමනය කරන ක්‍රියාපිළිවෙතින් පැහැදිලි වන බවද ඇමැතිවරයා අවධාරණය කළ බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහන් කරයි.
තේමා පහක් යටතේ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළීබඳ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද එය ජනාධිපති ලේකම් සහ අන්තර් අමාත්‍ය කාර්ය සාධක බලකායේ අධීක්ෂණය යටතේ පවතින බවද හෙතෙම පෙන්වා දී තිබේ. මේ අතර යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොමිෂමක් පත්කර තිබෙන බව පෙන්වා දී තිබෙන ඒ මහතා එහි කාලය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බවද පවසා ඇත.
ශ්‍රී ලංකාවේ සිවිල් පරිපාලන කටයුතුවලට ආරක්ෂක හමුදාවන් කිසිවිටෙකත් සම්බන්ධ නොවන බව පෙන්වාදී තිබෙන මහාචාර්ය ජී.එල් පීරිස් මහතා උතුරේ ජන සංයුතිය වෙනස් කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වීමට ඕනෑම පුරවැසියෙකුට අයිතිය පවතින බවද සිහිපත් කර තිබේ.
යුද්ධයට පෙරාතුව උතුරේ මුස්ලිම් ජනයා 75,000 ක් පමණද, සිංහල ජනයා 30,000 ක් පමණද ජීවත්වූ බව සිහිපත්කර තිබෙන මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද වනවිට කොළඹ ජනගහණයෙන් සියයට 51 ක් වාසය කරමින් සිටින්නේ සිංහල නොවන ජනකොටස් බවද එයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ කිසිඳු තැනෙක වාර්ගික භේදයකින් තොරව වාසය කිරීමේ නිදහස පවතින බවද පෙන්වා දී ඇත.
මේ කාරණා සිදුකිරීමට ස්වෛරී රාජ්‍යයක් ලෙස නිරන්තරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඉතා සහයෝගයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන බව සඳහන් කර ඇති ඒ මහතා යුද්ධය පැවති සමයේ අවසන් අදියරේ මානුෂීය මෙහෙයුම සිදු කරන කාලය තුළ එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන්ට වෙඩි තබා ඔවුන්ගේ පලිහක් ලෙස තබා ගැනීමට ක්‍රියාකළ ආකාරයද මෙහිදී පෙන්වා දී තිබේ.
පසුගිය 2012 වසරේ සිට ත්‍රෛභාෂික ශ්‍රී ලංකාවක් සඳහා වන දස අවුරුදු ජාතික සැළසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඒ අනුව රාජ්‍ය සේවකයන්ට සිංහල, දෙමල භාෂාවන් ප්‍රගුණ කිරීමේ වැඩසටහන් ආරම්භකර තිබෙන බවත් සඳහන්කර තිබෙන ඒ මහතා උතුරු හා නැඟෙනහිර පොලිස් සේවයේ නිලධාරීන් පත්කිරීමේදී එම භාෂාමය හැකියාවන්ට ප්‍රමුඛතාව ලබාදී ඇති බවද අවධාරණයකර ඇත.